මම බ්ලොග් එක ගෙන ෆේස්බුක් එකේ දැම්මේ සෑහෙන්න කුණු කතා ටිකක් අහගන්න බලාගෙන. හැබැයි පුදුමෙකට වගේ ගොඩක් අය කතා කරලත් වැඩේ හොඳයි කිව්වා. එකෙක් කිව්වා මාසෙකට එකක් දාන්නේ නැතිව තව දාපං කියලා. හැබැයි එක්කෙනෙක් මාත් එක්ක තරහත් වුණා මේක දැම්මා කියලා.. හොඳ නරක කියපු සේරම දෙනාට ඉතිං කියන්න තියෙන්නේ බලනවා නම් බලපං නැත්තම් නොකියා ඇවිත් හොරෙන් බලපං කියලා තමයි.
අද අවුරුදු දවස. ගොඩක් උන් මට සුභ පතන එක නැවැත්තුවේ 2012 හරි 2013 හරි ඉඳන්. එවන හැම මැසේජ් එකකටම මම බණිනවා සුද්ද සිංහලෙන්. අවුරුද්ද දවසේ අනිත් උන්ට සුභ පතලා උන් ආතල් ගන්නවා වගේම මමත් උන්ට බැණලා ඊට වඩා ආතල් එකක් ගන්නවා. මේ කතාව කියන්න නම් යන්න වෙනවා සෑහෙන ඈත කාලෙකට.
ඉස්සරම මම ගමේ පරණ ඉස්කෝලෙට ගිය දවස් වල අපිට අවුරුදු මාර හැපනින්. නිවාඩු දෙන්න ලං වෙද්දිම අපිට නිකම් අවුරුදු වගේ තමයි. මගේ හොඳම යාළුවාට තිබුණේ බේකරියක්. එ් හින්දා හැමදාම පොල් කේක් එකක් නම් වරදින්නෙම නැහැ උගෙන් අපේ ගෙදරට.
අද වගේ නෙමෙයි එතකොට අඩුම ගානේ සතියක්වත් අවුරුද්දට හැම තැනම වහලා. අප්පච්චිත් වැඩ වලට නිවාඩු දීලා කලින්ම අවුරුද්දට ලෑස්ති වෙනවා. මාවයි අම්මාවයි දාගෙන එනවා කොළඹට අපිට ඇඳුම් අරන් දෙන්න. මම මේ කියන්නේ 2000-2005 කාලේ ගෙන. එ් කාලේ මම ඉරිදාට ගංගාරාමෙට යද්දි විතරයි රාජගිරියෙන් එහාට ගියේ. ඒ හින්දා අර විදිහට යන එකේ පට්ට ආතල් එකක් තිබුණා. අපේ ගෙදර හැබැයි කවදාවත් කැවිලි හදන්න, ගේ අස් කරන්න වගේ දේවල් නොතිබ්බේ අම්මා ඒවා හදන්න දන්නේ නැති හින්දා වෙන්න ඇති. නෑදෑයෝ කියලා මහා ලොකු ගොඩක් නොහිටිය හින්දා වටේ ගෙවල් වල අය තමයි කැවිලි ටිකක් එහෙම දුන්නේ.
මගේ අවුරුද්ද පටන් ගන්නේ ඊට පස්සේ. අපි හැම අවුරුද්දටම යනවා තිස්සමහාරාමේ. එහේ ඉඳලා ටික දවසක් අපි යනවා කතරගමට. අවුරුදු දවස් වලට ඒ පැත්තේ මාරම සරුයි. ගම් වල මිනිස්සුන්ට මහා ලොකු සල්ලියක් නැහැ, එ් හින්දාම එ් පැති වල අවුරුද්දේ බොරු පඩ ෂෝ නැහැ. වැදගත්ම දේ තමයි "සුභ අළුත් අවුරුද්දක්" කියලා කියන්නේ බොක්කෙන්ම මිසක් මූණට පේන්න නෙමෙයි. මාමලා ගමේ සෑහෙණ තත්වයක් තිබුණ අය හින්දා එහෙට යන එන පොඩි පොඩි මිනිස්සු මටත් පොඩි රෙස්පෙක්ට් දුන්නා. කුඹුරු වටේ දුවන්න, මැණික් ගඟ කිරිඳි ඔයේ නාන්න, කඳු නගින්න වගේම අතට අහු වෙන හැම ජරාවක්ම කන්න වුණත් එ් කාලේ කිසිම තහනමක් තිබුණේ නැහැ.
අම්මා කියන විදිහට අවුරුදු නිවාඩුව ඉවර වෙලා කොළඹ එන්න පිටත් වෙද්දි මම යන්න බෑ කියලා කරදර කරනවාලු. අද වුණත් මාව එක්කන් ගියොත් මම එන්න බැහැ කියන්න ඉඩ තියෙනවා මෙහේ තියෙන විකාර දැක්කහම. ඔන්න ඔහොමයි මම පොඩි කාලේ මම අවුරුදු සැමරුවේ. ඊට පස්සේ ඉස්කෝලේ පටන් ගන්න දවසට මොකෙක් හරි ගේන බුලත් අතක් අරන් මුළු ඉස්කෝලේ වටේම ගිහින් හැම සර් කෙනෙක්ටම මිස් කෙනෙක්ටම වඳින්නේ පීරියඩ් එක කට් කරන්න ඕනෑ කමට මිසක් බොක්කෙන්ම එන ගෞරවයෙන් නම් නෙමෙයි.
මෙහෙම ටික ටික අපි ලොකු වුණා. අපේ බේකරියා පොල් කේක් හදන එකත් නැවැත්තුවා. දැන් ඌ එවන්නේ බටර් කේක් (පරයා). තිස්සමහාරාමේ එක මාමා කෙනෙක් ඇරෙන්න අනිත් උන් කොලඹ පදිංචියට ආවා. අප්පච්චි ප්‍රෙස් එකෙන් අයින් වුණා. එ් සේරටමත් වඩා මම දවස ගානේ රාජගිරියෙන් එයා යන්න පටන් ගත්තා. තිස්සමහාරාමේ අවුරුදු කියන එක ටික ටික ඈත් වුණා. කොළඹත් අවුරුදු තිබ්බා ජයට. හැබැයි මම ඒකට ආස වුණේ නැහැ.
දවස් 364ක්ම "අනේ මුට කෙළ වෙයන්" කියලා ඉන්න මිනිස්සු අවුරුද්දට ඇවිත් සුභ පතද්දි මට මල පනින්න ගත්තා. කලින් හැම එකාටම සුභ පතන මම මට සුභ පතන එවුන්ටත් බණින්න ගත්තා. වෙනදාට අවුරුද්දට ගෙදර මායිමක ඉන්නෙ නැති මම අද අවුරුදු දවස් දෙක තුනේම කාමරේට වෙලා ටීවී සීරීස් බල බල ඉන්නවා කවදා මේක ඉවර වෙයිද බලාගෙන. අවුරුදු චාරිත‍්‍ර නම් කොහොමත් වැඩිය ගාණක් තිබුණේ නැහැ. අම්මාගේ වදේට කිරි ජුන්ඩක් ඉතිරෙව්වා ඉස්සරම. පස්සේ පස්සේ අප්පච්චි කියන්නා වාගේ "තමන්ට බඩගිනි වුණ වෙලාව තමයි නැකත" වුණා. ඉස්සර වගේ නෙමෙයි දැන් රක්‍ෂා සඳහා පිටත්වීමේ නැකත දෙන්නේ තමන් වැඩ කරන ඔෆිස් එකෙන්මයි.
අප්පච්චි වුණත් අවුරුදු කාලේට කරන්නේ ගේ ඉස්සරහා පුටුවක් තියාගෙන එ් කාලේ අවුරුදු වල ලස්සන මතක් කරන එකද කොහෙද? ලස්සනට අවුරුදු සමරපු පරම්පරාවක් එයාලාගෙන් ඉවර වුණා කියලා මටත් හිතෙනවා. අපිට (මට) තමයි කෙළම වුණේ. නියම අවුරුද්ද දැකලා තියෙන හින්දා බොරු විදිහට ඉන්නත් බෑ හැබැයි නියම අවුරුද්දක් අද ඇත්තෙත් නැහැ. වටේම රතිඤ්ඤා ගහනවා. මට තවත් මේක ඉවසන් ඉන්නත් බැහැ. එකෙක්ටවත් මට සුභ පතන්න බැහැ හිතේ ඇත්තටම හොඳ සිතිවිල්ලක් නැතිව. එ් හින්දා සමරපියව් තොපි අවුරුදු. මම යනවා Game of Thrones බලන්න
No comments:
Post a Comment