Monday, March 2, 2015

මහරජ ගැමුණු නිරුවත් කල නූතන සිනමාව

* * *

මම මහා සිනමා විචාරකයෙක් නොවන බවත්, සිනමාව පිළිබඳ කිසිම සුදුසුකමක් නැති බවත්, ඇති එකම සුදුසුකම ටොරන්ට්ස් වලින් බාපු 500GB+ අධික සභ්‍ය චිත්‍රපට සහ 250GB+ අසභ්‍ය චිත්‍රපට බැලීමෙන් දැනගත් සිනමාව පමණක් බවත්. මාගේ අදහස් ගෙන ඔබලාට ඇති වෙන විරුද්ධ අදහස් ගෙන තඹ සතේකට මායිම් නොකරන බවත් කරුණාවෙන් සලකන්න.

* * *

"මාගේ මේ වෑයම ලේ දැකීමට ඇති ආසාව නිසාවත්, ශක්තිවන්තයා ජයාග්‍රාහකයාය කියන නිසාවත් නොව සම්බුද්ධ ශාසනය සහ මනුෂ්‍යත්වය සඳහාත් ඒ දෙකේ පැවැත්ම වෙනුවෙන් රට රැකගැනීම සඳහාත් පමණි..."

මේක ඇහුණා විතරයි සිරාවටම හිත ඇතුලෙන් කරන්ට් එකක් ගියා වගේ දැණුනා. මම මහා ජාති ආලයෙන් ඉන්න එකෙක්වත්, මගේ ආගම කියාගෙන මැරෙන්න යන එකෙක්වත් නෙමෙයි. හැබැයි කොහේදෝ තිබුණ අමුතුම ෆීලින්ග් එකක් ඇතිවුණා ඒ වචන ටික අහද්දි.

මට මේ වචන ටික ඇහෙන්නේ "මහ පොළවේ බිහිවූ ඒ ශ්‍රේෂඨතම මනුස්සයාගේ කතාව" බලන්න ගිය වෙලාවේ. ඒ කියන්නේ මම "මහ රජ ගැමුණු" ෆිල්ම් එක බලන්න අද ගියපු වෙලාවේ. මම 70%ක් ෆිල්ම් හෝල් වලට යන්නේ වනචර වැඩකට, 20%ක් විතර යාළුවෝ එක්ක ෆන් එකට. 10%ක් වගේ තමයි මෙහෙම හිතිලා තනියම ෆිල්ම් එකකට යන්නේ. අද ගියේ ලිබර්ටි එකට. හෝල් එකටම හිටියේ මිනිස්සු 15ක් වගේ. ඒකෙනුත් 6ක් විතර කපල්. පස්සෙන කොන් ටිකේ උන් 50 Shades of Grey  ඇක්ට් කරනවා මම ඇස් කොණකට වගේ දැක්කා. මගේ පස්සෙ පේලියෙ කෙරෝලෙ හිටියා ක්ලාස් යන කොල්ලො කෙල්ලො සෙට් එකක්. මම පකයා වගේ උන්ගේ ඉස්සරයා වාඩි වුණාම එකෙක් අනිත් උන්ට මොකක් හරි කිව්වා තනියම ෆිල්ම් එකට මම ගිය එකට. ඒක මට ඇහුණේ නැහැ. මට ඇහුණේ...

"ඉතිං උඹට දුක නම් උඹ ගිහින් අනික් පැත්තේ වාඩි වෙයන්කෝ" කියන එක විතරයි.

ඉතිහාසේ ගෙන කියන ෆිල්ම් වලින් මම ආසම ෆිල්ම් එක "අශෝක්". . . අපේ ඉතිහාසෙට සමාන හින්දයි ඉන්දියන් එකක් ගත්තේ. ඇත්තම කතාව නොවුණත් ඒක මාරම ලස්සනට කරලා තියෙනවා. ඉංග්‍රීසි ඒවා ගෙන කියන්න ඕනේ නෑනේ. Game of Thrones බලපු ඕන එකෙක් දන්නවා උන් Episode එකක් කොච්චර සිරාවට කරනවාද කියලා.

අපේ දේවල් වලට වැරදි කියනවා නෙමෙයි. හැබැයි ජැක්සන් ඇන්තනීගේ "අබා" ෆිල්ම් එකේ ලස්සන ගලායාමක් තිබුනා. මුල මැද අග කියන සාම්ප්‍රදායික විහියට නොයා කතාවක් තැනින් තැන පෙන්නන එකේ ආතල් එකක් තියෙනවා. අනික ඉතිහාස කතා වල පොඩි අඳුරු effects ටිකක් තිබුණාම තවත් කික් එකක් එනවා.

මහ රජ ගැමුණු එකේ කතාව නම් මුල සිට අගටම ඔහේ යනවා විතරයි පෙණුනේ. ගැමැණු කුමාරයා කියන්නේ සෑහෙන දිග කතාවක් තියෙන කෙනෙක්. එහෙම එකක පොඩි කෑල්ලක් විතරක් දැනට කරා නම් මීට වඩා හොඳට, අන්න සුපිරි වෙන්න තිබුණා මේකත් අබා වගේම. හැබැයි විශේෂ අවස්ථා පොඩ්ඩ පොඩ්ඩ දාලා තිබුණ එකෙන් එළාර දුටුගැමුණු ෆයිට් එකට වෙලා දීලා තිබුණෙත් විනාඩි 30කට වඩා අඩුවෙන්.

ගැමුණු කුමාරයාගෙයි මල්ලි තිස්සගෙයි සීන් සහෝදර ප්‍රේමෙකට වඩා gay සීන් වගේ මට පෙණුනේ තිස්සට රඟපාපු සාරංග දිසාසේකර හින්දාද නැත්තම් ඒ කාලේ සහෝදරයෝ අද කාලේ අපිට වඩා හෙණම ආදරබර විදිහට හිටිය නිසාද කියන්න මමවත් දන්නේ නැහැ.

දස මහා යෝදයෝ සෙට් එක පවර් වර්ල්ඩ් එකට ගිහින් යන්තම් බයිසෙප් දෙකයි චෙස්ට් එකයි පුම්බගත්ත මැනේජර්ස් ලා 10ක් වගේ. යකෝ රගර් ගහන කොල්ලෝ ටිකක් ගත්තා නම් ඊට වඩා හොඳයි.

අනික මළ පනිනම දේ තමයි එළාර. සොලී රජෙක් වුණාට එළාර කියන්නේ මම දන්න ඉතිහාසය අනුව සිරාම චරිතයක්. සාහිත්‍යට වගේම රාජ්‍ය පාලනයටත් දක‍ෂ නීති ගරුක රජ කෙනෙක්. දිටුගැමුණු එළාරව පරාජය කලාම එතැන දෙමළ මහා සෑර හදලා ගරු කරන්න පවා කටයුතු කලේ එළාරට තිබුණු Personality එකට දුටුගැමුණුත් ගරු කරපු නිසා. මේකේ නිකම් එළාර වෙලාවකට කොමියක් වගේ, හෙණට යුද්දෙ පරාද වේගෙන එද්දි යුධ සැලසුම මැද්දේ එළාර කියනවා.. "මම යනවා සැතපෙන්න.. ඔබලාත් දැන් ගිහින් සැතපෙන්න කියලා". යකෝ එළාර නෙමෙයි වෙලේ සුදා වගේ එකෙක් වුනත් ෆයිට් එකක් යද්දි සැතපෙන්න යනවාද?

මගේ ගම තිස්ස, අපි කතා අහලා තියෙන විදිහට දුටුගැමැණු මහ රජතුමාගේ සේනාව යුද්දෙට යන ගමනේදී හම්බු වෙනවා තාපසයෙක් වගේ කෙනෙක්ව. මුන් පොඩි බයිට් එකක් දාලා මොකක්ද ගෙනියපු ආහාර සේරම ද ආයුධ සේරමටද පිදුරු වෙනවා. මේක දැකපු රජතුමා මේ නම් ඩයල් එකක් කියලා හිතලා තාපසයා පස්සේ යනවා. මෙහෙම මෙහෙම කන්දක් උඩටම ගියාම දැනගන්නවා ඒ ඉන්නේ රුහුණට අධිපති මහසෙන් නැත්තම් කතරගම දෙවියෝ කියලා. වෙච්ච වැරැද්දට සමාව ඉල්ලපු ගැමැණු කුමාරයාගෙන් අහනවා මේ කෙහෙද යන්නේ කියලා. මෙහෙම ෆයිට් එකකට යනවා කියලා ඒකට සප් එකක් ඉල්ලනවා දිනන්න. යුද්දෙට අදිපති කතරගම දෙවියන්ගෙන් මේ යුද්දෙ දිනන්න සප් එක ඉල්ලුවා කියන්නේ ආයි වැඩේ ෂුවර් හන්දා කතරගම දෙවියෝ රජතුමාගෙන් ඉල්ලනවා

"මේ මා වැඩ සිටින ස්ථානයේ මට දේව මාලිගයකුයි, මම මේ විදින හීයවල් දෙක වැටෙන ස්ථානයේ තවත් දේව මාලිගේකුයි මහා චෛත්‍යකුයි හදන්න ඕනේ ෆයිට් එක දින්නාට පස්සේ" කියලා.

දෙන්නාම වැඩේට කැමති වෙනවා. අදටත් ඒ විද්ද හී දෙක වැඩසිටිකන්ද දේවාගයේ තියෙනවා තිරය පිටිපස්සේ. වැඩසිටි කන්ද දේවාලය, කතරගම මහා දේවලය වගේම කිරිවෙහෙර චෛත්‍යයත් එක තනි ඉරකට පිහිටා තියෙනවා කියලා නොදන්නවා නම් ගිය වෙලාවක බලා ගන්න. ඔන්න ඕකයි මම දන්න ජනප්‍රවාදේ.. හැබැයි ෆිල්ම් එකේ කතරගම දෙවියෝ ගෙන වචනයක් වත් නැත්තේ දේව සංකල්පය බැහැර කරන නිසාද නැත්තම් දේවතා effect එක ගන්න යන ගාණ වැඩි හින්දාද කියන්න මම දන්නේ නැහැ.

සටන් ගෙන නම් කතා කරන්න එපා. කඩොල් ඇතා දොරටුව කඩන සීන් එකේදී මට ඇත්තටම දුක හිතුණා ඇයි මේ තරම් චාටර් විදිහට ෆිල්ම් හදන්නේ කියලා. නදීක ගුරුගේ ඉන්න හින්දා යන්තම් මියුසික් ටික තිබුණා පරණ ගාම්භීර තාලෙටම.

අනික එළාරගේ දුව දුටුගැමුණුට සීන් එක. අපේ නිකම් අංකල්ලා දුව වෙන කොල්ලෙක්ට කැමති වුණා කියලා දැනගත්ත ගමන් දුවව රට යවන අද වගේ කාලෙක ඒ කාලේ හිටිය එළාර තමන්ගේ පරම හතුරාට සීන් එකේ ඉන්න දුවට ලාවට සද්දේ දාලා යන්න යනවා. හැබැයි මම එළාර වුණා නම් වැඩේ ගොඩින් ඛේර ගන්නවා දුවවත් දුටුගැමුණුට බන්දලා දීලා.

ගැමුණු කුමාරයාගේ ආදර කතාව නම් ශේප්. අක්කවයි නංගිවයි දැක්ක ගමන් මම බැලුවා ඇයි අක්කට සීන් එක දාන්නේ නංගිනේ ලස්සන කියලා. ග්‍රහ චාරේ හොඳ කමකට යන්තම් නංගිව සෙට් වෙනවා. එතන වුණ වැදගත්ම දෙයක් මම දකිනවා දුටුගැමුණු තමන්ගේ අරමුණයි පවුලයි කියන දෙකෙන් පවුලට අඩු තැනක් දීපු එක. රටක් ගෙන හිතන ටාගට් එකක් තියෙන දුටුගැමුණු වගේ කෙනෙක් යුද්දෙ මැද්දෙත් ගෑණියි ළමයායි එක්ක ඉන්නවා පෙන්නුවා නම් මම එවෙලෙම නැගිටලා යනවා.

සමස්තයක් විදිහට ෆිල්ම් එක සවුත්තුයි. ඇත්තටම චාටර්. ඒකට හේතු විදිහට රටේ තාක‍ෂණය නැහැ, හරි පහසුකම් නැහැ කියන එක සාධාරණ නැහැ මොකද එතන අවුල තියෙන්නේ ස්ක්‍රිප්ට් එකේ ඉඳන්මයි. මම දකින විදියට ඔය වගේ ලස්සනට කරන්න පුළුවන් සුපිරි කතාවක් ගැමැණු කුමාරයාගෙයි දස මහා යෝදයින්ගෙයි තරුණ කාලේ වෙනකම් විතරක් පෙන්නලා ඊලඟ ටික වෙනම ෆිල්ම් එකක කලා නම් ඉවරයි. අශෝක් ෆිල්ම් එකේ අච්චර මහා අධිරාජ්‍යයෙක්ගේ සම්පූර්ණ කතාව ලස්සනට කියන්න පුළුවන් නම් ඇයි මේකේ බැරි වුණේ කියන එක හොඳ ප්‍රශ්ණයක්. ඉතිහාසය විකෘති නොකර පොඩ්ඩක් රසවිඳින්න පුළුවන් විදියට වෙනස් කලා නම් හොඳයි කියලායි මගේ අදහස.